Showing posts with label news. Show all posts
Showing posts with label news. Show all posts

Tuesday, March 2, 2021

ජංගම පුහුණු ඒකකයක් වූ ලංගම බස් රථය

ජංගම පුහුණු ඒකකයකට  පරිවර්ථනය වූ NA-1744 දරණ Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථය 2021 මාර්තු 20 දින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී  
ජංගම පුහුණු ඒකකයකට  පරිවර්ථනය වූ NA-1744 දරණ Mitsubishi Fuso Aero Star වර්ගයේ බස් රථය 2021 මාර්තු 20 දින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී  
මා ඔබට පූර්වයෙහි සඳහන් කර ඇති පරිදි බස් රථය වනාහී සිය අවසන් නිමේෂය දක්වා මහජනයාට සේවය කරන්නා වූ අපූර්ව වස්තුවකි. එය ලංගම බසයක් වූ කලී එය ලාංකික ජන හදවත් වලට තවත් සමීපය. මේ ඒ වෙනුවෙන් ලැබෙන ආසන්නතම උදාහරණයයි. පොදු ප්‍රවාහනයෙන් විශ්‍රාම ගත් මෙම ලංගම බස් රිය දැන් පරිවර්තනය වී ඇත්තේ වෘත්තීය පුහුණුව හදාරණ දරුවන්ගේ ප්‍රායෝගික දැනුම තීව්‍ර කරන ජංගම පුහුණු ඒකකයකටයි. ජාතික ගමනාගමන සේවයෙන් විශ්‍රාම ගියද එතැන් පටන් මෙම බස් රථය දැයේ තාරුණ්‍යය නිපුණතාවයෙන් පිරිපුන් හෙට දවසක් කරා රැගෙන යාමේ ගමනට එකතු වී ඇත. සැබැවින්ම මෙය ජංගම ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ විද්‍යාගාරයකි. NA-1744 දරණ Mitsubishi Fuso Aero Star වර්ගයේ මෙම රථය පූර්වයෙහි ශ්‍රී ලංගම ගාල්ල, මට්ටක්කුලිය හා කැස්බෑව යන ඩිපොවන්ට අනියුක්තව පොදු ප්‍රවාහන සේවා සපයා ඇත. 2018 වසරේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත අලුත්වැඩියාව පිණිස යවා ඇති මෙම රථය කලක් එහි පැවතී ඇති අතර 2021 මුල් භාගයේ ශ්‍රී ලංගම මගින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) වෙත මෙලෙස පවරා ඇත. පසුව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය හා ශ්‍රී ලංගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංගම මහරගම ඩිපෝවේ දී ජංගම ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ විද්‍යාගාරයක් ලෙස පරිවර්තනය වූ මේ අපූරූ රථය අද දින එනම් 2021 මාර්තු මස 02 වන දින ශ්‍රී ලාංකික දරු පරපුර වෙනුවෙන් තිළිණ වූයේ ජනාධිපතිතුමා අතිනි.
මේ පිලිබඳ ලංගම බස් අඩවිය වෙත අදහස් දැක්වූ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ පුහුණු අධ්‍යක්‍ෂතුමන් වන නිලන්ත ද සිල්වා මහත්මා පැවසුවේ බොහෝ කලක සිට තමන්ගේ සිතෙහි තිබූ සිහිනයක්, යම් දවසක සැබෑවක් විය යුතුව තිබූ අවශ්‍යතාවයක් අද ඉටු වූ බවයි. ඒ වෙනුවෙන් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයටත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් විශේෂයෙන් දින 20 ක් වැනි කෙටි කාලයක දී රථයේ වැඩ නිම කර දුන් මහරගම ඩිපෝවටත් ඒ මහතා ස්තූතිය පළ කරයි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ප්‍රායෝගික පරීක්ෂණාගාර නොමැති ප්‍රදේශ වල දරුවන්ගේ පුහුණුව වෙනුවෙන් මෙම රථය යෙදවීමට බලාපොරොත්තු වන බවයි. තවද ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවත් මෙවැනි රථ කිහිපයක් නිමවීමටද බලාපොරොත්තු වන බව එතුමා සඳහන් කරන ලදී.

NA-1744 අතීතය
2005 වසරේ ජපාන සුනාමි ආධාරයක් වශයෙන් මෙරටට ලැබී ඇති මෙම රථය 1993 වසරේ නිෂ්පාදනය කරන ලද්දකි. ටෝකියෝ නගරයේ පොදු ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් නිමවී ඇති මෙම රථය 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන විට ජපානයේ වසර 12 ක සේවා කාලයක් නිම කොට තිබුණි. 2005 වසරේ මෙරටට ලැබීමෙන් පසු ශ්‍රී ලංගම යටතේ ඩිපෝවන් කීපයක් යටතේ පොදු සේවාවන් සඳහා දායක වී ඇති මෙම බස් රථය, මුලින් ශ්‍රී ලංගම ගාල්ල ඩිපෝව යටතේ පැවතී ඇති අතර ශ්‍රී ලංගම යටතේ අවසන් කාළ වකවානුවේ පැවතී ඇත්තේ මට්ටක්කුලිය හා කැස්බෑව ඩිපෝවන් යටතේය.
රථය 2013 වසරේ ශ්‍රී ලංගම මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වෙමින්. මේ පිලිබඳ අප පෙර පල කල ලිපිය ලබාගැනීම සඳහා ඡායාරූපය මත click කරන්න.
2015 වසරේ ශ්‍රී ලංගම කැස්බෑව ඩිපෝව වෙත ලැබී ඇති රථය ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට සපයන ලදී. 
2015 වසරේ මාර්තු මස කැස්බෑව ඩිපෝ ඉංජිනේරු අංශයේදී අලුත්වැඩියා වෙමින් 
පසුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත යැවී ඇති මෙම රථය ජංගම පුහුණු ඒකකයක් ලෙස නවීකරණය වන තෙක්ම එහි පැවතී ඇත
2019 පෙබරවාරි මස ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන පරිශ්‍රයේ දී 
ටෝකියෝ නුවර මගී ජනතාවගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් නිම වී, වසර 12 ක් ජපානයට සේවය කර, අහඹු සුනාමි ව්‍යසනය නිමිති කොට ලාංකේය මගියාට සරණ වීමට මෙහි පැමිණ, වසර 13 ක් ලාංකේය මගියා වෙනුවෙන් ඔබ මොබ සැරිසරා ඉනික්බිති රටේ සිසු පරපුරේ නැණස තීව්‍ර කිරීම වෙනුවෙන් යෙදවෙන මේ මහානර්ඝ වස්තුව තවත් බොහෝ කාලයක් ලාංකේය දරු පරපුර වෙනුවෙන් දිවයින පුරා ඔබ මොබ සැරිසරනු දැකීම ලංගම බස් අඩවියේ අපේ අභිප්‍රායයි. 

සටහන: උත්පල දිල්හාන් 
ඡයාරූප: රොෂාන් අතාවුද, උත්පල දිල්හාන් 
විශේෂ ස්තූතිය: ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය

Sunday, February 28, 2021

මුහුදු පතුලේ කෘතීම වාසස්ථාන ලෙස බස් රථ ස්ථානගත කිරීමේ ව්‍යාපෘතිය

මුහුදු පතුලේ කෘතීම වාසස්ථාන ලෙස බස් රථ ස්ථානගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මුහුදු පත්ලේ ගිල්වන ශ්‍රී ලංගම මතුගම ඩිපෝවට අයත්ව තිබුණු 63-2961 දරණ Wesco ISUZU MT112 වර්ගයේ (Ex-Mobile Operation Unit) බස් රථය.
ශ්‍රී ලංකා මුහුදු කලාපය තුල මත්ස්‍ය ගහණය වැඩි කිරීමේ අරමුණින් මත්ස්‍ය පැටවුන් සඳහා කෘතීම වාසස්ථාන මුහුද පතුලේ තැන්පත් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර දකුණු මුහුදු කලාපය කේන්ද්‍ර කර සිදු කිරීම ගාල්ල ධීවර වරායෙන් 2021 පෙබරවාරි 27 දින ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇත. මේ වෙනුවෙන් ධීවර දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මගින් මිලදී ගත් ධාවනයෙන් ඉවත් කර බොහෝ කාලයක් ඩිපෝ පරිශ්‍රයන් තුල අබලන් ව පැවති ශ්‍රී ලංගම බස් රථ, පැරණි දුම්රිය මැදිරි කොටස් සහ පුද්ගලයන් විසින් ලබා දෙන ලද භාවිතයෙන් ඉවත් කල මෝටර් රථ මෙන්ම වරායන් තුල වසර ගණනාවක් ගොඩ ගැසී තිබූ භාවිතයෙන් ඉවත් කරන ලද සහ නීති විරෝධී කටයුතු තුලින් රාජසන්තක කරන ලද ධීවර යාත්‍රා ද  භාවිතා කර ඇත. මෙය මත්ස්‍ය ගහණයට මෙන්ම කිමිදුම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද ඉවහල් වන බව සාගර විද්‍යාඥයන් ගේ මතයයි. 
මෙම ව්‍යාපෘතිය යටතේ 2021 පෙබරවාරි මස 27 දින මුහුදු පත්ලේ ගිල්වූ බස් රථ වන්නේ 30ශ්‍රී1256 දරණ ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් Viking 222 වර්ගයේ බස් රථය, 61-9091 දරණ අශෝක් ලේලන්ඩ් Comet Minor වර්ගයේ බස් රථය, 63-2961 දරණ Wesco ISUZU MT112 වර්ගයේ බස් රථය, NA-0558 දරණ Mitsubishi Aero Star වර්ගයේ බස් රථය සහ NA-1729 දරණ Mitsubishi Aero Star වර්ගයේ බස් රථය යන බස් රථයයි.

30ශ්‍රී1256 දරණ ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් Viking 222 වර්ගයේ බස් රථය
61-9091 දරණ අශෝක් ලේලන්ඩ් Comet Minor වර්ගයේ බස් රථය
NA-0558 දරණ Mitsubishi Aero Star වර්ගයේ බස් රථය
NA-1729 දරණ Mitsubishi Aero Star වර්ගයේ බස් රථය
ඉදිරි මාස තුනක කාලය තුල  හම්බන්තොට, මාතර සහ ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ ව්‍යාපෘතිය තව දුරටත්  ක්‍රියාත්මක වේ. පළමු අදියර වශයෙන් ත්‍රිකුණාමලය අවට නැගෙනහිර මුහුදු සිමාවේ ස්ථාන 32 සාර්ථකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.