Friday, July 5, 2019

බදුල්ල 99 කොළඹ "ලක්සිරි" සේවය - ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ සුඛෝපබෝගී බස් සේවය

1981 වසරේ ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ
29ශ්‍රී7479 දරණ මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථය.
මෙය ලක්සිරි සේවය වෙනුවෙන් මණ්ඩලය මගින් විශේෂයෙන් එකලස් කරන ලද බස් රථයකි. 
ශ්‍රී ලංගම මගින් ක්‍රියාත්මක වන දුර සේවා පිල්බඳව සාකච්ඡා කිරීමේදී තවත් අවධානය ලක්වන සේවාවකි "99 ලක්සිරි සේවය". එය ලාංකේය ප්‍රවාහන ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ සුඛෝපබෝගී බස් සේවය එය වන බැවිනි. එය විශේෂ සේවාවක් ලෙස කැපී පෙනීම උදෙසා එයට "ලක්සිරි" යන නාමය යෝජනා වී  ඇති අතර එහි අරුත වන්නේ "ශ්‍රී ලංකාවේ අසිරිය" යන්නයි. 1979 ඔක්තෝබර් 15 එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ මෙම සේවාව ඇරඹී ඇති අතර ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ එවකට ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ සභාපති අමර මල්වත්ත පීරිස් මහතාය. එතුමන් එම සංකල්පය උපුටාගෙන තිබුණේ 1978 වසරේ සිදුකල තායිලන්ත සංචාරයක අතරතුරදී බැංකොක් සිට චින්මායි දක්වා බස් ගමනකින් අත් දකින ලද බස් සේවාවක් ඇසුරුණි. වචනයෙන් පමණක් අර්ධ සුඛෝපබෝගී නොවී ඇති ලක්සිරි සේවාව එවකට පැවති සාමාන්‍ය බස් රථ වලට වඩා පහසුකම් රැසකින් සමන්විත වී ඇත.

අමර මල්වත්ත පීරිස් මහතා බදුල්ල ඩිපෝවේ පැවති උත්සව අවස්ථාවක මුලසුන හොබවමින්  
"ලක්සිරි"  යන නාමය යෝජනා කර ඇත්තේ එවකට ඌව ප්‍රාදේශිකයේ ධාවන කළමණාකරු වූ අශෝක ගුණසේකර මහතාය. ලක්සිරි සේවාව ආරම්භ කර ඇත්තේ මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර වේ. එක් බස් රථයකින් ආරම්භ කර ඇති සේවාවේ මුල් කාලසටහන වී ඇත්තේ බදුල්ලෙන් පිටත්වීම පැය 14.00 සහ කොළඹින් පිටත් වීම පැය 23.00 ට ලෙසය. සේවාව වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයට අයත් බදුල්ල ඩිපෝව වන අතර සේවාව වෙනුවෙන් වෙනම සේවක කණ්ඩායමක් ඩිපෝව මගින් නම් කොට ඇත. ලක්සිරි මංගල ගමනේ රියදුරු මහතා වන්නේ එම්. පී සුගතපාල මහතාය. කොන්දොස්තර මහතා ලෙස සේවය කර ඇත්තේ කේ. එල්. කරුණාරත්න මහතා ය. අනෙක් සේවක ද්විත්වය වී ඇත්තේ රියදුරු එච්. ටී. ඩේවිඩ් පීරිස් මහතා සහ කොන්දොස්තර සුභසිංහ මහතාය. ලක්සිරි සේවයේ විශේෂත්වයක් වන්නේ සේවයේ ආරම්භක අවධියේ දී, රියදුරු කොන්දොස්තර මහත්වරුන්ට අමතරව ලං.ම.ග.ම. ආරක්‍ෂක අංශයේ සේවක මහතෙකු, මගීන්ගේ හා බස් රථයේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටීමයි. එම සේවක කණ්ඩායමට වෙනම නිල ඇඳුමක්ද මණ්ඩලය මගින්ම සපයා දී ඇත. ලක්සිරි බස් සේවයේ ආරම්භයත් සමඟ බදුල්ල ප්‍රධාන බස් නැවතුමේ සහ කොළඹ මධ්‍යම බස් නැවතුමේ ලක්සිරි කාර්යාල විවෘත කර ඇති අතර මගී ජනතාවට ආසන වෙන් කිරීම හා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා එම කාර්යාල වල පහසුකම් සපයා දී ඇත. ලක්සිරි සේවයේ ආරම්භක ගාස්තුව රුපියල් 30.00 ක් වී ඇති අතර සෑම මගියෙකුටම එම ගාස්තුව අනිවාර්ය වී ඇත. ලක්සිරි සේවාව වෙනුවෙන් විශේෂ ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් තිබී ඇති අතර එය කුඩා පොත් පිංචක ස්වරූපය ගනී. එක් ප්‍රවේශ පත්‍රයක් ධාවන වාර කීපයක් සඳහා භාවිත කල හැකි වීම විශේෂත්වයක් වී ඇත.

බස් සමාගම් අවධියේ නිකුත් කල ලක්සිරි ප්‍රවෙෂ ප්‍රත පොත් පිංචක මුල් පිටුව
ලක්සිරි ප්‍රවෙෂ ප්‍රත පොත් පිංචක මුල් පිටුවේ පිටුපස සඳහන් ආසන
වෙන් කිරීමේ හා කාලසටහන් තොරතුරු
ලක්සිරි ප්‍රවෙෂප්‍රත පොත් පිංචක ප්‍රවේශ පත්‍ර විස්තර අඩංගු පිටුවක්
ලක්සිරි ප්‍රවෙෂප්‍රත පොත් පිංචක පසුපස පිටුවේ සඳහන් කොන්දේසි

ලක්සිරි සේවාවේ ආසන ගත මගීන් පමණක් රැගෙන යාම අනිවාර්ය වී ඇති අතර එම නීතිය උල්ලංඝනය කරන සේවක කණ්ඩයම් වලට ඩිපෝව මගින් දඩ නියමකොට ඇත. බලංගොඩ ප්‍රදේශයේ තෝරාගත් අවන්හලක ගිමන් හැරීම පිණිස නවතා ඇති ලක්සිරි බස් රථ වල මගී ජනතාවට තේ පැන් සංග්‍රහයක් ඩිපෝවේ අනුග්‍රයෙන් සපයා දී ඇත.

ලක්සිරි සේවාවේ බස් රථ වල විශේෂතා පිලිබඳ වෙනම සඳහන් කල යුතු වන්නේ එම බස් රථ වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම විශේෂ වූ නිසාය. 1991 ජනතාකරණයට පෙර ධාවනය කර වූ බස් රථ සියල්ලම පාහේ ලක්සිරි සේවාව වෙනුවෙන් විශේෂයෙන් නිමවා තිබීම විශේෂය. ලක්සිරි සේවාවේ පළමු බස් රථය වන්නේ 23ශ්‍රී9857 දරණ ටාටා LP 1210/52 බස් රථයයි. ශ්‍රී ලං.ම.ග.ම. මගින් නිමවා තිබී ඇති බස් රථය 3 x 2 ආකාරයෙන් සැකසූ උස් ඇන්ද සහිත ආසන වලින් සමන්විත ව ඇත. එම ආසන එම බස් රථය වෙනුවෙන්ම විශේෂයෙන් ඉන්දියාවෙන් ආනයනය කල බවද සැලයි. මුල සිටම ලක්සිරි බස් රථ වලට ආවේණික වූ වර්ණ රටාව ආරම්භ වී ඇත්තේ මෙම බස් රථයෙනි.
23ශ්‍රී9857 දරණ ප්‍රථම ලක්සිරි බස් රථය. ටාටා LP 1210/52 වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් වූ මෙය.
මෙය ලක්සිරි සේවය වෙනුවෙන් මණ්ඩලය මගින් විශේෂයෙන් එකලස් කරන ලද්දකි.
23ශ්‍රී9857 දරණ ප්‍රථම ලක්සිරි බස් රථයේ ඇතුලත. ඉහත නම් සඳහන් කල රියදුරු කොන්දොස්තර
දෙපොල රූපයේ වේ.
ලක්සිරි මංගල ගමනේ සේවක මඩුල්ල සහ මගී ජනතාව.
ලක්සිරි සේවයේ බස් රථ වල හදිසි කාර්මික දෝෂ පිලිබඳ විශේෂ නීතියක් එවකට ඌව ප්‍රාදේශීය ගමනාගම මණ්ඩලය විසින් සම්මත කොට ගෙන තිබී ඇත. එනම් යම් හෙයකින් ලක්සිරි බස් රථයක් ආපදාවකට ලක් වූවහොත් ආසන්න ඩිපෝවේ පවතින හොඳම බස් රථය ඒ වෙනුවට ලබාදිය යුතුය යන්නයි. මුල් කාලීන ලක්සිරි සේවාවේ එම නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක වූ බවට සාක්‍ෂි තිබේ. 1986/1987 අවිධියේ ලක්සිරි සේවාවේ රියදුරු මහත්මයෙකු ලෙස සේවය කල සනත් පෙරේරා මහතා අදහස් දක්වමින් පැවසුවේ, දිනක් තම බස් රථය රතනපුර ආසන්නයේ ආපදාවට ලක්වූ අවස්ථාවේ, රන්තපුර ඩිපෝව මගින් එවකට ඔවුන් සතුව පැවති හොඳම බස් රථයක් වන ඉසුසූ ECR 500 වර්ගයේ විශේෂ චාරිකා බස් රථයක් ලක්සිරි බස් රථය වෙනුවෙන් හුවමාරු කල බවයි.

මෙම කරුණු සලකා බැලීමේදී මුල් කාලීන ලක්සිරි සේවය "අර්ධ සුඛෝපබෝගී" යන වදනට නිසි සාධාරණයක් ඉටු කොට ඇති බව පෙනී යයි. ඒ නිසාම එකල මෙම සේවාව වෛද්‍යවරුන්, නීතිඥයන් හා ව්‍යාපාරිකයන් වැනි මගී ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රියව තිබී ඇත. විශේෂයෙන් ව්‍යාපාරිකයන් අතර මෙම සේවාව ප්‍රචලිත වීමට මූලික හේතුවක් වී ඇත්තේ ඔවුන්ගේ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ ලක්සිරි කාර්යාලයට බාරදී නැවත ගමනාන්තයේ දී ඒවා ලක්සිරි කාර්යාලයෙන්ම  ආරක්‍ෂිතව ලබාගත හැකි වීම නිසාය. අද මෙන් මුදල් සංසරණය පහසු වී නොමැති එම යුගයේ ලක්‍ෂ ගණනින් මුදල් එහා මෙහා රැගෙන ගිය ව්‍යාපාරිකයන්ට ලක්සිරියෙන් ලැබුණු එම ආරක්ෂාව හා වගකීම ඔවුන්ව ඒ වෙත ආකර්ශනය කිරීමට සමත්ව ඇත. කෙසේ නමුත් බැංකු පද්ධති හා මුදල් සංසරණ ක්‍රම දියුණු වීමත් සමඟ එම සේවාව නැවතී ඇති අතර ඒ වෙනුවෙන් යෙදවූ ලංගම ආරක්ෂක අංශයේ සේවක මහතාද ඉන් ඉවත් වී ඇත.

1979 සිට මේ දක්වා වසර 40 ක් පුරා පවතින ලක්සිරි සේවාවේ කලින් කලට සිදුවූ විශේෂ වෙනස්කම් සලකා බැලිය හැක.

1981
1981 වසරේ ලක්සිරි බස් සේවාව සඳහා බස් රථ ද්විත්වයක් හඳුන්වා දීම විශේෂය. එක් බසයක් බදුල්ලෙන් පැය 11.00 සහ කොළඹින් පැය 23.00 ලෙසත් අනෙක් බස් රථය බදුල්ලෙන් පැය 22.00 සහ කොළඹින් පැය 8.00 ත් ලෙස යොදවා ඇත. රියදුරු මහත්වරුන් ත්‍රිත්වයක් මගින් චක්‍රීය ක්‍රමයට සේවාව ලබාගෙන ඇති එම අවධියේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් එකලස් කරන ලද නවතම මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථ ද්විත්වයක් යෙදවීමද විශේෂය. ඉන් එක් බස් රථයක් වූ 29ශ්‍රී7479 බස් රථය මෙම ලිපියේ ආරම්භක ඡායාරූපය ලෙස දැකිය හැකි අතර අනෙක් බස් රථය වී ඇත්තේ 29ශ්‍රී7481 ය. කේ. පී. සිරිපාල සහ සනත් කරුණාරත්න යන රියදුරු මහත්වරුන් ද්විත්වය එවකට ලක්සිරි වෙනුවෙන් සේවය සපයා ඇති අතර ඔවුන්ගේ තොරතුරු හා ඡායාරූප මෙම ලිපිය වෙනුවෙන් දායකත්වය සපයා ඇත.
29ශ්‍රී7479 බස් රථය ධාවනය වන අවස්ථාවක රියදුරු හා කොන්දොතර මහත්වරුන් සමඟ
1981 වසරේ ලක්සිරි සේවාව හා බැඳුණු තවත් විශේෂත්වයක් වන්නේ සති අන්ත යාපනය බස් සේවාවක් ඇරඹීමයි. සිකුරාදා දින වල රාත්‍රියේ බදුල්ලෙන් පිටත් වී නැවත සඳුදා දින බදුල්ලට ලඟා වී ඇති එම සේවාව 1983 වසර දක්වා පමණක් ක්‍රීයාත්මක වී ඇත්තේ 1983 ජුලි මාසයෙන් පසු උතුරු පළාතේ හටගත් යුධමය වාතාවරණය නිසාය. එහෙයින් එය ජනතාව අතර ප්‍රචලිත වී නොමැත.

1983
1983 වසරේ ශ්‍රී ලංකාවේ පළමු වරට කාන්තා කොන්දොස්තර වරියන් දෙදෙනකු ලක්සිරි බස් සේවය යටතේ සේවය කර තිබීම මෙම සේවාවේ තවත් විශේෂත්වයකි. එවකට කොන්දොස්තර වරියක ලෙස සේවය කල එච්. සිරියාවතී මහත්මිය අදහස් දක්වමින් පවසන්නේ ඔවුන්ගේ සේවාව උදෑසන ගමන් වාරය වෙනුවෙන් ලබා ගත් බවයි. කෙසේ නමුදු 1987 වන විට කාන්තා කොන්දොතර සේවයෙන් ඉවත් වී ඇති ඇය ලක්සිරි කාර්යාල සේවා වෙනුවෙන් යෙදී ඇත. ඇය සමඟ සේවය කල සහෝදර කොන්දොස්තර නිලධාරිනිය වන්නේ පද්මා කාන්තී මහත්මියයි. ඇය කෙටි කාලයකින්ම කොන්දොස්තර සේවාව හැර ගොස් ඇති බව සැලයි.
කාන්තා කොන්දොස්තර වරියන් ලෙස ලක්සිරි සේවය හා එක්වී සිටි එච්. සිරියාවතී මහත්මිය සහ පද්මා කාන්තී මහත්මිය මණ්ඩලීය උත්සව අවස්ථාවක දී
1983 වසරේ ලක්සිරි සේවාවට 30ශ්‍රී1055 දරණ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් එකතු වී ඇති අතර එය  ශ්‍රීලංගම මගින් විශේෂ සේවා සඳහා එකලස් කරන ලද්දකි. ඉදිරිපස එක් දොරටුවකින් සමන්විත වී ඇති රථයට 3x2 සැකැස්මට සැකසූ උස් ඇන්ද සහිත ආසන තිබී ඇත. කෙසේ වෙතත් ටාටා මාදිලියට අදාළ ඩිපෝවක් වූ බදුල්ල ඩිපෝවට මෙම අශෝක් ලේලන්ඩ් බස් රථය නඩත්තුවේ දී ඇති වූ ගැටළු නිසා 1985 පමණ වන විට මෙම රථය මොණරාගල ඩිපෝව වෙත යැවුණු බව සැලයි.
30ශ්‍රී1055 දරණ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථය හා බැඳුණු මතක සටහනක්
1983 වසරේ දී 23ශ්‍රී9857 දරණ ප්‍රථම ලක්සිරි බස් රථය හා බැඳුණු මතක සටහනක්. ඡයාරූපය ජේ.එම්. සිරිපාල මහතා.
1984
1984 වසරේ ලක්සිරි සේවාවට සිදුවූ ප්‍රමුඛතම වෙනස වන්නේ සම්පූර්ණයෙන්ම ජපානයේ නිෂ්පාදිත 30ශ්‍රී6606 දරණ ඉසුසූ JCR 500 වර්ගයේ බස් රථයක් සේවාවට එක් වීමයි. මෙය වායු සමනය කල සුඛෝපභෝගී බස් රථයක් වීම විශේෂත්වයක් වන අතර ලක්සිරි සේවය හා එක් වී ඇති ප්‍රථම හා එකම වායු සමනය කල බස් රථය මෙයයි. කෙසේ නමුත් ඇති වූ නඩත්තු ගැටළු නිසා මෙම රථය 1986 වන විට රත්නපුර ඩිපෝව වෙත අනියුක්ත කර ඇත.
30ශ්‍රී6606 දරණ ඉසුසූ JCR 500 වර්ගයේ බස් රථය හා බැඳුණු මතක සටහනක්
1986
1986 වසරේ ශ්‍රීලංගම වෙනුවෙන් කිටමුරා බඳ සහිත ඉසුසූ ECR 500 වර්ගයේ බස් රථ 120 ක් ලැබුණු අතර ඒ යටතේ බදුල්ල ඩිපෝවට ලැබුණු 60ශ්‍රී3147 දරණ බස් රථය ලක්සිරි සේවය වෙනුවෙන් යෙදවීමට ඩිපෝව මගින් කටයුතු කර ඇත. කෙසේ නමුදු ECR 500 බස් රථ නඩත්තුවේ දී ඇති වූ ගැටළු නිසා වසර 2 ක් වැනි කෙටි කාලයක් තුල ලක්සිරි සේවය වෙනත් බස් රථයකට මාරු කර වීමට ඩිපෝවට සිදු වී ඇත.

1988
ඉහත වසර වල ධාවනයට එක් කරන ලද බස් රථ ලක්සිරි සේවාවෙන් ඉවත් කිරීම සමඟ ඇති වූ බස් රථ අඩුව සම්පූර්ණ කිරීම සඳහා නව බස් රථ දෙකක් ටාටා සමාගමෙන් මිලට ගැනීමට 1988 වසරේ ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නවතම ටාටා බස් රථ ද්විත්වයක් සඳහා ඇණවුම් ලබා දී ඇති අතර එම බස් රථ ලක්සිරි සේවාව වෙනුවෙන් විශේෂයෙන්ම නිමවාගෙන තිබේ. ඌව ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ සභාපති අමර මල්වත්ත මහතා ඉන්දියාවට ගොස් මෙම නවතම බස් රථ ද්විත්වය තම අවශ්‍යතාව අනුව නිමවාගෙන තිබේ. ටාටා LPO 1313/47 වර්ගයේ රුබී බඳක් සහිත එම බස් රථ ද්විත්වයට 60ශ්‍රී5411 සහ 60ශ්‍රී5417 ලෙස ලියාපදිංචි අංක ලැබී ඇත. මෙම බස් රථ 2 x 2 ආසන සැකැස්මට සකසා ඇති අතර ඉදිරිපස තනි දොරටුවකින් යුක්තව තිබී ඇත. උස් ඇන්ද සහිත ආසන 43 කින් සමන්විතව තිබී ඇති රථවල සෑම ආසන දෙකක් අතරම විදුලි පංකා සවි කර තිබී ඇත. කම්පන උරා ගැනීමට සමත් දැවමුවා පොළවක් රථ සතුව තිබී ඇති අතර රථවල ජනේල තිර රෙදි මෙන්ම ලක්සිරි වර්ණ රටාවද ඉන්දියාවෙන්ම නිමවා එවා ඇත.
ලක්සිරි සේවය වෙනුවෙන් ඉන්දියාවෙන් ආනයනය කල 60ශ්‍රී5417 බස් රථය 
1992 
1988 වසරේ එක් කල බස් රථ ද්විත්වය දිගු කාලයක් ලක්සිරි සේවය යටතේ ධාවනය වී ඇති අතර 1992  වසරේ ඒ වෙනුවෙන් නව බස් රථ ද්විත්වයක් ලැබී ඇත. 1991 වසරේ ජනතාකරණයෙන් පසු බස් රථ මිලදී ගැනීමේ හැකියාව ඍජුව ඩිපෝවන් වෙත ලැබුණු අතර ඒ අනුව සීමා සහිත බදුල්ල ජනතා සන්තක ප්‍රවාහන සේවය විසින් නව බස් රථ මිලදී ගෙන ඇත. ඒ යටතේ 61-1944 සහ 61-2254 යන ටාටා LP 1210/52 වර්ගයේ රුබී බඳ සහිත බස් රථ ද්විත්වය ඩිපෝව මගින් මිලදී ගෙන ඇත. 61-1944 බස් රථය ඉන්දියාවෙන්ම උස් ආසන සහිතව තනිදොර බස් රථයක් ලෙස පැමිණ ඇති අතර 61-2254 දොර දෙකකින් යුතු බස් රථය ඩිපෝව මගින් තනි දොර ලෙස සකසා උස් ආසන සවි කොට ධාවනයට සපයා ඇත.
61-1944 දරණ, රුබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථය 1992 වසරේ ඩිපෝ පරිශ්‍රයේ දී.
1996
1996 වසරේ ඩිපෝවට නව ඩිමෝ ටාටා LPO 1313/47 බස් රථ ලැබීමත් සමඟ ලක්සිරි සේවය වෙනුවෙන් එම බස් රථ ද්විත්වයක් යෙදවීමට ඩිපෝව මගින් කටයුතු කර ඇත. 62-1498 සහ 62-1499 ලෙස ඒවාට ලියාපදිංචි අංක ලැබී ඇත. අදාළ ඩිමෝ බස් රථ ලක්සිරි සේවයට ගැලපෙන පරිදි සකස් කර ලක්සිරි වර්ණ රටාවෙන් වර්ණ ගන්වා ඇත. කෙසේ නමුදු 1994 වසරේ සිදුවූ දේශපාලන වෙනස් වීම් අනුව වර්ණ වෙනසක් සිදුවී ඇත.
62-1499 බස් රථය හා බැඳුණු මතක සටහනක්
1999
1999 වන විට ජාතික ගමනාගමන කොමිසම පිහිටුවා, අර්ධ සුඛෝපබෝගී සේවා සම්මත කරණයකට ලක් කොට ඇති අතර අර්ධ සුඛෝපබෝගී සේවා වෙනුවෙන් එවකට පොකුරු බස් සමාගම් වෙත වෙස්කෝ වර්ගයේ ඉසුසූ හා ටාටා මාදිලි වල අර්ධ සුඛෝපබෝගී බස් රථ ලබා දී තිබුණි. ඒ යටතේ බදුල්ල ඩිපෝවට ලැබුණු 62-5896 සහ 62-5898 දරණ ටාටා LPO 1313/55 වර්ගයේ වෙස්කෝ බඳ සහිත අර්ධ සුඛෝපබෝගී බස් රථ ද්විත්වය, ඩිපෝව මගින් ලක්සිරි සේවාව සඳහා වෙන් කර ඇත.
62-5896 බස් රථය හා බැඳුණු මතක සටහනක්.
ලක්සිරියේ නළුවා..
යම්කිසි වෙනස් ආරක මාතෘකාවක් වූ මෙය සරළව කියතොත් සේවක උපහාරයකි. ඒ ලක්සිරි සේවයේ වැඩිම කාලයක් සේවය කල රියදුරු ඩබ්. එම්. සුමනසේන මහතාටය. හෙතෙම ලංගම සේවකයන් අතර මෙන්ම මගීන් අතර ප්‍රසිද්ධව සිටියේ "නළුවා" යන අනුවර්ථ නාමයෙනි. ඒ ඔහු සතු වූ පෞර්ශය, කොන්ඩ සැකසුම හා ඇඳුම් විලාසය නිසාමය. ඔහු ඇගයිය යුත්තේ ඔහුගේ එම බාහිර ස්වරූපය නිසා නොව ඔහු විසින් නිසි පරිදි ඉටු කල වෘත්තීයමය වගකීම නිසාය. 1988 සිට 2004 දක්වා වසර 16 ක් ලක්සිරිය ප්‍රාණවත් කිරීමට දායකත්වය දී ඇති ඔහුගෙන් කිසිදු අනතුරක් වාර්තා නොවීම විශේෂය.
ලක්සිරි සේවයේ රියදුරු ඩබ්. එම්. සුමනසේන මහතා
2005 න් පසු..
2004 වසරේ එවකට පැවති පොකුරු බස් සමාගම් විසිරුවා හැර නැවත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවන ලද අතර ශ්‍රී ලංගම සඳහා පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත වර්ණ රටාවක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව සියළුම බස් රථ සම්මත ශ්‍රී ලංගම වර්ණයෙන් වර්ණ ගැන් වී ඇති අතර ලක්සිරි බස් රථ ද්විත්වය ද ඒ යටතට ඇතුළු වී ඇත. 2006 වසරේ නව බස් රථ ලැබීමත් සමඟ NA-**** හා NA-**** යන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථ ද්විත්වය ලක්සිරි සේවය සඳහා යොදවා ඇති අතර ආසන පමණක් උස් ඇන්ද සහිතව සකස් කර එම බස් රථ ද්විත්වය සේවාව වෙනුවෙන් යොදවා ඇත. 2011 වසරේ නව අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථ උපයා ගෙවීමේ පදනම මත ශ්‍රී ලංගම ඩිපෝවන්ට ලබා දී ඇති අතර ඒ යටතේ බදුල්ල ඩිපෝව මිලදී ගත් බස් රථ දෙකක් ලක්සිරි සේවාව වෙනුවෙන් යොදවා ඇත.
2011 වසරේ ලක්සිරි සේවය හා එක් වූ NA-8894 දරණ බස් රථය 2014 වසරේ ජනවාරි මස 30 වන දින
කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී.
2014 වසරේ අග භාගයේ ක්‍රියාත්මක වූ බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවට ලැබුණු NB-8194 සහ NC-1571 දරණ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ආසන 54 බස් රථ ද්විත්වය අවසන් වශයෙන් ලක්සිරි සේවය වෙනුවෙන් යොදවා ඇති අතර මෙම ලිපිය ලියවෙන 2017 වසරේ ජුලි මාසය දක්වාම එම බස් රථ ද්විත්වය ලක්සිරි සේවය වෙනුවෙන් යොදවා ඇත. 

අනාගත සැලසුම්..
ලක්සිරි සේවය අතීතයේ සිටම තම ඩිපෝවේ ඉතා වැදගත් සේවාවක් බව හඳුනාගෙන ඇති ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව මේ වන විට ලක්සිරි සේවය යාවත්කාලීන කිරීමට සැලසුම් සකස් කරමින් සිටී. ඒ අනුව ලක්සිරි සේවය වෙත යෙදවීම සඳහා නවතම කින්ග් ලෝන් XMQ6127CY වර්ගයේ බස් රථ ද්විත්වයක් සඳහා බදුල්ල ඩිපෝව විසින් මේ වනවිට ඉල්ලුම් කර ඇත. ඒ අනුව ඉදිරියේදී ලක්සිරි සේවාව අර්ධ සුඛෝපබෝගී මට්ටමේ සිට අධි සුඛෝපබෝගී යන මට්ටමට යාවත්කාලීන වනු ඇත. 

පසු සටහන
මුල් කාලීන ලක්සිරි සේවාව "අර්ධ සුඛෝපබෝගී" යන වදනට මනා සාධාරණයක් ඉටු කර ඇති බව එහි ඉතිහාසය පිරික්සන විට මනාව පැහැදිලි වේ. 1979 වසරේ එවකට පැවති බස් සේවා සමඟ සැසඳීමේ දී සැබවින්ම එය විශේෂ වී ඇත. පසුකාලීනව සිදුවූ පරිපාලනමය වෙනස්කම් නිසා මේ වන විට ලක්සිරි සේවය සාමාන්‍ය අර්ධ සුඛෝපබෝගී බස් සේවයක් ඝනයටම පත් වී ඇති බව කනගාටුවෙන් වුවද සිහිපත් කල යුතුය. එම සේවාව නැවතත් විශේෂ සේවාවක් බවට පත් කර 1980 දශකයේ පැවති අයුරින්ම ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවට කිරුළක් බවට පත්වනු දැකීම අපගේ අරමුණයි. වත්මනේ පවතින අර්ධ සුඛෝපබෝගී යැයි කියාගත් සේවාවන්ට, ලංගම ඉතිහාසයෙන්ම යම් උපදේශයක් සැපයීමද මෙහි තවත් අරමුණකි.ඉහත සඳහන් අනාගත සැලසුම් සඵල වී අදට ගැලපෙන නවීන සේවාවක් ලෙස "ලක්සිරි සේවය" ශ්‍රී ලාංකේය මගී හදවත් දිනාගත් සේවාවක් බවට පත් වේවායි ප්‍රාර්ථනය කරමු.

මෙම ලිපිය ශ්‍රී ලංගම නිල තොරතුරු ඇසුරෙන් සකසන ලද්දක් නොවේ. ලක්සිරි සේවය සමඟ බැඳීී සිටි සේවක මහත්වරුන් හා බාහිර පිරිස් ඇසුරෙන් ලබාගත් වාචික හා ඡායාරූපමය තොරතුරු ඇසුරෙන් සකසන ලද්දකි. මෙහි යම් අඩුපාඩුවක් වේ නම් ඒ පිළිබඳව ලංගම බස් අඩවියේ කණගාටුව පල කෙරෙන අතර එම වරද නිවැරදි කිරීම වෙනුවෙන් අපව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු. තවද මෙම වටිනා සේවාව පිලිබඳ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ඔබ සතුව කරුණු හෝ ඡායාරූප හෝ ඇත්නම් ඒවාද අප වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. 

සටහන: 
උත්පල දිල්හාන් 

විශේෂ ස්තූතිය: 
තොරතුරු හා ඡායාරූප රැස් කොට එම තොරතුරු ලංගම බස් අඩවිය වෙත ලබාදුන් කවිස්සර සංජීව මහතාට.
බස් රථ පිලිබඳ තාක්ෂණික තොරතුරු සැපයූ තිලංක වැලිගම මහතාට.
මෙම වටිනා ඡායාරූප ලබාගෙන ඒවා ආරක්ෂා කර ගැනීමට කටයුතු කල සියළුම දෙනාට.

12 comments:

  1. මග කෙටිලි නැති, ආසනගත මගීන් විතරක් ගමන් කරන සුපිරිම සේවාවක්. ඉදිරියේදී ලක්සිරි යන නමට අරුතක් දෙන්නට අධි සුඛෝපභෝගී සේවාවකින් අරඹන එකනම් වඩාත් කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම! ස්තූතියි අදහස් දැක්වීමට

      Delete
  2. Replies
    1. ස්තූතියි අදහස් දැක්වීමට

      Delete
  3. අතීත මතකය අවදි කරන ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් දැක්වීමට

      Delete
  4. ලක්සිරි බස් සේවාව ගැන සම්පුර්ණ විස්තරයක් දැනගන්න ලැබුනේ මේ ලිපිය කියෙවුවාමයි. ඉදිරියටත් ලංකාවේ බස් සේවා සම්බන්ධව මේවගේ අපි නොදන්නා විස්තර සහිත ලිපි පලකරන්න. ඔබට බොහොම ස්තුතියි.

    මිට අමතරව යමක් කියනවා නම්, මේ ලිපියේ 30 ශ්‍රී 1055 අශෝක් ලේලන්ඩ් බස්රථයක් ගැන සඳහන් වෙනවා. ඒ බසයේ ලියාපදිංචි අංකය යටපත් වෙලා තිබුණු මගේ පාසල් කාලේ මතකයක් නැවත අවදි කළා. එනම් පානදුර ඩිපෝවේ 30 ශ්‍රී 1038 (මතක විදිහට PN80) දරන අශෝක් ලේලන්ඩ් බස් රථය. පොඩි කාලේ නිතරම දැකපු නිතරම ගමන් බිමන් ගිය බස් එකක්. 2005ට කලින් තිබුණ බස් වලින් තවමත් මට ලියාපදිචි අංකය මතක එකම බස් එක ඒක විතරයි. නැවතත් ස්තුතියි මතකය අවදි කෙරෙවුවාට!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි!

      Delete
  5. ඉතා වටිනා සේවාවක්.....අද වන විට ශ්‍රී ලංගමයට ලොකු ජනප්‍රසාදයක් තියනවා......

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි!

      Delete
  6. there was an another Laksiri service conducted by Bibile Depot. It started in 19 nineties. It was a night service. BB-col 2130, col BB 2200
    It was similer to Badulla laksiri. Bus bodies were renovated by workers from Bus Samawaya in BD depot. One was renoveted at BB depot and other was at BD depot. The ticket was same as BD luksiri. I was a regular passanger of it and had traveled more than 100 journeys within 5 years.

    ReplyDelete
  7. මාත් පැටි අවදියේ බදුල්ලේ හිටියේ. එවකට අපි කොළඹ එන්නේ ලක්සිරි බස් වල. පැරණි මතකයන් ඔස්සේ බොහෝ වෙලාවක් හිත දිව්වා උත්පල ඔබගේ මෙම ලිපිය හරහා. ගොඩක් ස්තුතියි මේ ලිපියට. බ්ලොග් එකේ මම දැකපු හොදම ලිපිය මේක. ආයේ කැටවත්ත බසය ගැන පලවූ ලිපියත් මේ වගේ.


    දැන් කලකට පෙර සටන් විරාම සමයේ හෝ යුධ ගැටුම් අවසන් වූ පසු දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවට ලංගම බස් රථයක් ධාවනයේ නිරතවූවා. ගමන දුර නිසා රියදුරු සහ කොන්දොස්තර මහත්වරු දෙදෙනා බැගින් බසයේ ගමන් කරනවා. ලක්බිම පුවත්පතේ ලිපියක් පල උනා ඒ ගැන. දැන් නම් ලක්බිම පත්තරේ පල වන්නේ නැහැ නේද? පුළුවන් නං ඒ ලිපිය හොයලා දාන්න උත්පල. මට මතක හැටියට මිහිරි ෆොන්සේකා වෙන්න ඕනි ලිපිය ලියලා තිබුනේ.

    ReplyDelete