Friday, January 15, 2021

කොළඹ 'City Bus' සේවය -- Colombo 'City Bus' Service

'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 'City Bus' සේවාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙය ක්‍රියාත්මක වන්නේ 'Park and Ride' සේවාවක් හෙවත් මගියාගේ පුද්ගලික වාහනය ගාල් කර බස් රථයෙන් කොළඹ නගරයට ඇතුළු විය හැකි අයුරිනි. කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (2021 ජනවාරි 15) දින පෙරවරුවේ ආරම්භ කෙරිණ.

පුද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබා ගන්නා ලද බස් රථ බස් රථ 25 ක පමණ ඇණියකින් මුල් අදියරේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ සඳහා Toyota Coaster, Mitsubishi Rosa යන වර්ග ප්‍රමුඛව යොදාගෙන ඇති බව නිරීක්ෂණය වේ. ඉදිරියේ දී පත්ල පහත් (low Floor) නාගරික සේවා බස් රථ 200 ක ඇණියක් මෙම සේවාව සඳහා ශ්‍රී ලංගමට ලබා දීමට නියමිතය.
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
'City Bus' සේවාව සඳහා යොදාගන්නා බස් රථ
මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ. 
ආසනගත මගීන් පමණක් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ. 

මගීන්ට සිය පුද්ගලික වාහනය ආසන්නතම Park & Ride රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ තවදුරටත් පුළුල් කිරීමට ලංගම සූදානමින් සිටී. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ. පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දැනට, දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.
'City Bus' සේවාව ක්‍රියාත්මක වන මාර්ග සිතියම. නිල් පැහැයෙන් වාහන ගාල් කල හැකි ස්ථාන දැක්වේ.
ධාවන_මාර්ගය 01
මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ - පැලවත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - පිටකොටුව - ගාමිණි හෝල් - පුරහල - නුගේගොඩ - කොට්ටාව - මාකුඹුර 

ධාවන_මාර්ගය 02
මාකුඹුර - මහරගම - නුගේගොඩ - නාවල - නාරාහේන්පිට - ටොරින්ටන් - පුරහල - කොම්පඤ්ඤ වීදිය - ගාලුමුවදොර - බම්බලපිටිය - තුම්මුල්ල - කිරුලපන - මාකුඹුර

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ව්‍යාපෘතියට හිමිව ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය, බස් රථ කාල සටහන සහ ආසන්නතම බස් රථයේ ළඟාවීම දැනගැනීමටත් හඳුන්වා දී ඇති විශේෂ 'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) දියත් කිරීමද සමඟාමීව සිදුකෙරිණි.
'City Bus' නම් ජංගම දුරකථන මෘදුකාංගය (APP) 
'City Bus' ජංගම දුරකථන මෘදුකාංගය (APP) මෙතැනින් ගන්න  

විවෘත කිරීමෙන් පසු නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමාද එහි පහසුකම් නිරීක්ෂණ කළේය.
'City Bus' සේවාව ආරම්භ කරමින් ජනාධිපතිතුමා අතින් විවෘත වූ බස් රථය.
ජනාධිපතිතුමා, ප්‍රවාහන ඇමතිවරුන් සහ ශ්‍රී ලංගම සභාපතිතුමා බස් රථයෙන් ගමන් කිරීම.

7 comments:

  1. මොන බොරුවක්ද? මමත් ඊයේ (සෙනසුරාදා) උදේ 7ට විතර මාකුඹුර බස් නැවතුම්පළට ආවා. ඔය කියන විදියේ බස් සේවයක ලකුණක් වත් තිබුනේ නැහැ. ඉතින් මම පුරුදු විදියට ඌබර් ටැක්සියක් අරගෙන ආවා. ඒ එන ගමන් වත් එකම එක ඔය කියන බස් එකක් දැක්කේ වත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔය කියන විදියේ App එකක් Apple App Store එකෙ වත් Android Play Store එකේ වත් හොයා ගන්න නැහැ. සුපුරුදු පරිදි මේකත් තවත් එක ආණ්ඩුවෙන් ඇරපු තඩි නයෙක් තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. app Link එක දමා ඇත. ඔය සේවාව පිලිබඳ ඔබ දරණ මතයයි. එය වෙනස් කිරීමට ලංගම කටයුතු කරනු ඇතැයි ධනාත්මකව සිතමි. ලංගමට ආදරය කරන මගියෙකු වශයෙන් සේවාව සාර්ථක වේවායි පතමි. :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සති අන්තයේ බස් නැහැ සතියේ දවසක විතරයි බස් තියෙන්නෙ. office time වල තමයි වැඩිපුර බස් දාල තියෙන්නෙ

      Delete
  2. එතකොට සෙනසුරාදා බස් වැඩ කලේ නැද්ද එතකොට?

    ReplyDelete
  3. දැන් එතකොට ඔය බස් වල යන්න නම් තමන්ගේ වාහන වලින්ම ඇවිල්ලා වාහනේ මාකුඹුරේ නවත්තලාම යන්න ඕනද? වාහන තියෙන අයට සැප බස්. වාහන නැති අයට ලොරි චැසි බස්. එහෙමද?

    ReplyDelete
  4. ඉතා ගුණාත්මක සේවාවක් මිලත් ඉතා සාධාරණය.

    ReplyDelete