Saturday, August 30, 2014

යළි පණ ලබන ලංගම

රටේ ජනතාවගේ වටිනා කාලය බොහෝ දුරට නාස්ති වන්නේ මහ මඟට බව පසුගිය කාලයේ කරන ලද පර්යේෂණ කිහිපයකින්ම හෙළි වී තිබුණි. ප්‍රවාහන විශේෂඥයකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ වරෙක ගාලු පාරේ වාහන ධාවන වේගය සම්බන්ධව පර්යේෂණයක් කළේ ය. එහිදී සොයා ගත හැකි වූයේ කොළඹට ආසන්නයේදී වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 7 කට ආසන්න වන බවයි.

මේ තත්ත්වය තවත් උග්‍ර වන්නේ පොදු ප්‍රවාහන සේවයකින් ගමන් කරන්නේ නම් ය. අතර මඟ බස් නැවතුම් පොළවල බස් රථ නවතාගෙන සිටීමෙන් රටේ දේශීය විනිමය විදේශයන්ට ඇදී යාමට හේතු වන ඉන්ධන වැය වීමත් මිනිස් සම්පතේ කාලය විනාශ වීමත් මාර්ග තදබදය ඇතිවීමත් යන ව්‍යසනයන් තුනම සිදු වේ.

මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පෞද්ගලික බස් රථ සේවාව විසින් බස් කර්මාන්තයේ අණසක පතුරවාගෙන සිටීමත් එම සේවාව නියාමනය කිරීමට ඇති ආයතන මඟින් එම කාර්යය නිසි පරිදි සිදු නොවීමත්ය. එම ආයතන ඒ සම්බන්ධව කරුණු දක්වමින් නිරතුරුවම පවසන්නේ සේවක සංඛ්‍යාව මදි බව මෙන්ම පෞද්ගලික බස් රථ සඳහා පවත්නා නීති රීති හා ක්‍රමවේදයන් ප්‍රමාණවත් නොවන බවයි.

කරුණු කෙසේ හෝ වේවා එදා සිට අද දක්වාම ජනතා හිත මිතුරකු වූ ලංගම බස් රථවලින් මේ ගැහැට කිසිවක් සිදු වූයේ නැත. සේවාව නිසි පරිදි ඉටු විය. සිදු වූ එකම දෙය නම් ලංගම විකුණාගෙන කෑමට විවිධ දේශපාලඥයන් විසින් කටයුතු කිරීමය.

ලංගම සතුව තිබූ ප්‍රාදේශීය වැඩ පළ වු ඒකල වේරහැර කහගොල්ල, ගාල්ල (පෙට්ටිගල වත්ත) කුණු කොල්ලයට අලෙවි විය. බස් රථ නඩත්තු කිරීමට අලුත්වැඩියා කිරීමට තැනක් නැති විය. අබලන් වූ බස් රථ ඩිපෝවලම ගාල් විය. පසුව හිතවත් අයට කුණු කොල්ලයට එම බස් රථ වෙන්දේසි විය. ලංගම ඇද වැටීම සිදු වූයේ මේ අනුවය. එහෙත් මේ වන විට ලංගමට නව පණක් ලබා දීමට කටයුතු කර ඇත.

විනාශ මුඛයට පත් වීමට ගොස් තිබූ ලංගමට නව පණක් ලබා දී ඇත. මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට බස් රථ 2200 ක් එක්වරම ලංගමට ආනයනය කරමින් පවතී. එයින් බස් රථ 203 ක් මේ වන විටත් මෙරටට ලැබී ඇත. ඒවා ඩිපෝවන්හි අවශ්‍යතා අනුව මෙ වන විටත් බෙදා හැර ධාවනයට එක් කර ඇත. ආනයනය කරනු ලබන බස් රථ අතුරින් 1400 ක් ආසන 54 කින් යුක්ත වන ඒවායි. එම බස් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 45 කි. ඉතිරි බස්රථ 800 ආසන 42 කින් යුක්ත ඒවාය. එම එක් බස් රථයක වටිනාක ම ලක්ෂ 42 කි.
  
මේ අනුව සමස්ත බස් රථවල විනාකම කෝටි 1068 කි. මේ තරම් විශාල මුදලක් ජනතා ප්‍රවාහනයට එකවර වැය කර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරටය. එසේම එය මහ හඩින් අඩ බෙර නොගසා සිදු කිරීමද විශේෂත්වයකි.

බස් රථ සේවාව සම්බන්ධව වැඩි වශයෙන් කටයුතු කරන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගෙන් අපි ඒ පිළිබඳව විමසුවෙමු.
‘රටේ සංවර්ධනය වේගයෙන් ඉදිරියට ඇදී යන වේලාවේ පාරට එන මඟියාට ඉක්මනින් තම මනාන්තයට ගෙන යාම අපේ වගකීමක්. ප්‍රවාහන අමාත්‍යාංශය විතරක් නෙමයි පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ වලටත් ඒ වගකීම තියෙනවා.

ජනතාවට 100% ක බස් සේවාව සපයපු ලංගම බස් සේවය දැන් සලසන්නේ 24% ක ප්‍රවාහන සේවයක් විතරයි. මේ බස් රථ සේවාවේ ප්‍රධාන අරමුණ එම සංඛ්‍යාව 27% දක්වා වැඩි කර එය ස්ථාවරව තබා ගෙන යාමයි. එමඟින් කාර්යක්ෂම සේවාවක් ඇති කරන්න අපි කටයුතු කරනවා.

තාමත් රටේ සියලු ග්‍රාමීය මාර්ගවල වගේම නගරයෙන් බැහැර සියලු මාර්ගවල පළමු බස් එක වගේම අන්තිම බස් එකත් දුවන්නේ ලංගමින්. ඒ වගේම නිදහස් අධ්‍යාපනයට අත දීමක් ලෙසින් වාර ප්‍රවේශ පත්‍ර ලබා දිමත් සිදු කරනවා. මේ සියල්ල මඟියා දන්නවා. ඒ වගේම විනය ගරුක සේවාවක් ලබා දෙන්නේ ලංගමින් එම නිසා අදටත් ලංගම පෞද්ගලික බස් දෙකක් ආවොත් මඟියා නගින්නේ ලංගම බස් එකට.

මේ වන විට ලංගම සේවකයන් 35 000 ක් ඉන්නවා. ඒ අය නඩත්තු කරන්නෙ බස් 5000 කින්. රියැදුරු කොන්දොස්තරවරුන්ගේ අඩුපාඩු සපුරාලන්න මේ වනවිට සේවකයන් බඳවා ගන්නවා.

මේ වන විට පෞද්ගලික වාහන භාවිතා කරන පිරිස වැඩිවෙමින් පවතින නිසා ලංගමට ඒ අභියෝගයටත් මුහුණ දෙන්න වෙලා. ත්‍රී රෝද රථ වගේම යතුරු පැදි භාවිතය නිසා ආදායම අහිමි වුණත් ලංගම සේවාව නිසි අයුරින් කාර්යක්ෂම ලෙසින් පවත්වා ගැනීමට කටයුතු කරනවා.

කෙසේ වුවත් ආර්ථික වශයෙන් ඵලදායි වන නාරාහේන්පිට/ බොරුල්ල/ කොටුව මාර්ගවල ලංගම බස් රථ නොමැතිවිමටත් මේ බස් රථ මඟින් පිළියමක් ලබා දීමට කටයුතු කරනු ලබන අතර දුර ගමන් සේවා බස් රථ විධිමත් කර ධාවනය කිරීමද මේ බස් රථ ඇණියේ බලාපොරොත්තුවකි.

එමෙන්ම අම්පාර ලංගම ටයර් කම්හල පණ ගැන්වීම මෙන්ම මාතලේ කලුදෑවල ලංගම වැඩපොළ පණ ගැන්වීම මඟින්ද ලංගමට නව පණක් ලබා දීමට කටයුතු කෙරේ.

එසේම ඒකාබද්ධ කාලසටහන් මඟින් රාත්‍රී බස් රථ සේවාවද විධිමත් කිරීමට මේ බස් රථ සමඟ කටයුතු කෙරෙනු ඇත. ඒකාබද්ධ සේවාවට අනුව 3ට 2 අනුපාතයට බස් රථ ධාවනය කෙරෙනු ඇත. ඒ අනුව පෞද්ගලික බස් රථ 3 කට ලංගම බස් රථ 2 ක් බැගින් කාල සටහන් සැකසෙනු ඇත. එම ඒකාබද්ධ සේවාව සමඟින් සියලු බස් රථ අනිවාර්යයෙන්ම යම් දින කිහිපයක් රාත්‍රී සේවාවට යටත් වනු ඇත.

ලංගම ඩිපෝ 113 න් 80ක පමණ සංඛ්‍යාවකට මේ වන විට ස්ථායි මට්ටමකට පැමිණි ඇති අතර ඉතිරි ඩිපෝ 35 ක පමණ ප්‍රමාණයද කඩිනමින් කාර්යක්ෂම තත්ත්වයට ගෙන ඒම ලංගම අපේක්ෂාව වී ඇත. විශේෂයෙන්ම අඩු මිල ප්‍රමිතියෙන් අඩු අමතර කොටස් ලංගම බස් රථ සඳහා යෙදවීම කලකට ඉහතදී සිදු වී ඇති නමුත් මේ වන විට ලංගම බස් රථ සඳහා ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක අමතර කොටස් යෙදීමට උපදෙස් ලබා දී ඇත. එසේම පරිපාලනය විධිමත් කර ධාවනය විධිමත් කිරීමටද පියවර ගෙන තිබීම තුළින් ලංගම ආදායම ඉහළ මට්ටමකට ගෙන ඒමට පියවර ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයෙන් මේ වන විට පෞද්ගලික බස් සේවාව අභිභවා ලංගම බස් රථ පෙරට ඒම තුළින් පැහැදිලි වන්නේ ලංගම තරගකාරිත්වය අතින් තවමත් පෙරමුණේ ගමන් කරන්නට සමත් බවයි. අධිවේගී මාර්ගයේ බස් රථවලින් දිනකට ලක්ෂ තිස් තුනකට ආසන්න මුදලක් උපයා ගැනීමට ලංගම සමත්ව ඇත. බස් රථයක ගෙවා අවසන් වන විට වටිනාකම වනුයේ ලක්ෂ 120කි.
අධිවේගී මඟේ සැප බසයක මාසික ආදායම ලක්ෂ 15 ඉක්මවයි. ඒ අනුව බස් රථයක් සම්පූර්ණ වටිනාකම මාස 8 කදී ලංගමට ඉපැයිය හැකිය. රාජ්‍ය ප්‍රවාහන සේවය මේ අයුරින් ශක්තිමත් වුවහොත් එහි වාසිය සැම විටම සැලසෙන්නේ පොදු ජනතාවටයි.

සමස්ත ලංගම සේවාවම ජාලගත කර තිබීම නිසා මේ වන විට සියලුම ඩිපෝ සම්බන්ධ විස්තර දිනපතා සිදුවන මෙහෙයුම් ක්‍රමවේදය ක්ෂණයකින් දැන ගැනීමට හැකිවීම තුළින් අඩුපාඩු සොයා ඒ සියල්ල නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත. එසේ නොමැතිව බස් රථ පමණක්ම එක් කිරීමෙන් පමණක්ම ලංගම ගොඩ ගත නොහැකි වනු ඇත.

උපුටා ගැනීම:  සිළුමිණ (silumina.lk)  ඡායාරූප: sltbbus.blogspot.com

6 comments:

  1. KGS aka leylend engine hi karapu aluth bus daka ganth ma widihata danna.

    ReplyDelete
  2. Private bus tika mehema giyoth bankoloth wenawa. mata eka gana bohoma sathutui.

    ReplyDelete
  3. ඔව් මොක වෙලා හරි පොදු ප්‍රවාහනය මිනිස්සුන්ට වදයක් නොවෙනම් හොඳයි

    ReplyDelete
  4. Aththa. lankawe godak palath wala private bus kiyanne maha kalakammi sewayak. Kotanawa, passen bus ekak dakiddi minissu marana ganata haiyen yanwa.
    Habai Route no 1 Kandy Colombo nam thathwaya wenas. CTB bus tika hodala ne jarawa. Thawa Peretha kamata nikam kanna jara hotel wala nawaththala kale kanawa. Private bus eta kalin Colombo yanawa ewa kanna, tea bonna nawaththanne ne.
    Kandy Colombo private AC service ekath aththatama hondai. Minissunta salakanawa, welawata yanawa. Aluth bus genna oni private nathi karanne newi. Tharagayak deela degolloma wada honda sewayakata yomu karanne. Ekai wedagath.

    ReplyDelete
  5. Uvata bus 100k hambuna dan dakinna dakinna thana CTB bus Maru

    ReplyDelete