ලංගම සම්මතයන්ට අනුව බස් රථයේ කාණ්ඩය සඳහන් කළ යුතු ආකාරය |
1958 වසරේ බස් ජනසතුවත් සමඟ සමස්ථ දිවයිනේම පොදු ප්‍රවාහන වගකීම ලංකා ගමනාගමන මණ්ඩලය සතු විය. විවිධාකාර තත්වයන්ගෙන් යුත් ප්‍රදේශ වල පිහිටි බස් සමාගම් හැත්තෑවක් පමණ එකවර පවරාගෙන ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම යනු සරළ කරුණක් නොවේ. එම නිසා ලංගමට සෑම විටම සම්මත ක්‍රමවේද හා ආයතනික සම්ප්‍රදායන් හඳුන්වා දීමට සිදු වී ඇත. එලෙස හඳුන්වා දුන් ක්‍රමවේදයන් අතර බස් රථ කාණ්ඩ අනුව වෙන් කිරීමේ ක්‍රමවේදය ද විශේෂය.
පූර්වයෙහි සඳහන් කල පරිදි ලංගමට ආවරණය කිරීමට සිදුවූයේ විවිධ ප්‍රදේශය. ඒ ඒ ප්‍රදේශ වල පවතින තත්වයන් අනුව මාර්ග පද්ධතීන් ද විවිධාකාර විය. එම එක් එක් මාර්ග වල තත්වයන් සලකා බලා ඒ අනුව ඊට ගැලපෙන බස් රථ යෙදවීමට ලංගමට සිදු වී ඇත. ඩිපෝව මගින් අදාළ මාර්ගයේ තත්වය පිලිබඳ පූර්ණ අධ්‍යනයක් සිදු කර ඒ අනුව යෙදවිය යුතු බස් රථ කාණ්ඩය නිගමනය කිරීම ලංගම සම්ප්‍රදාය වී ඇත. ඒ අනුව එක් එක් මාර්ගයේ තත්වය අනුව යෙදවීමට බස් රථ E, D, C, B, B+, A සහ A+ ලෙස කාණ්ඩ කර ඇත.
බස් රථ කාණ්ඩ කිරීමට ප්‍රධාන වශයෙන්ම පාදක කොට ගෙන ඇත්තේ රථයේ ඉදිරිපස රෝදයේ කේන්ද්‍රයේ සිට පසුපස රෝදයේ කේන්ද්‍රය දක්වා තිබෙන දුර ප්‍රමාණය හෙවත් කාර්මික ව්‍යවහාරයේ "වීල් බේස් එක" (Wheelbase) ය.
ඉදිරිපස රෝදයේ කේන්ද්‍රයේ සිට පසුපස රෝදයේ කේන්ද්‍රය දක්වා තිබෙන දුර ප්‍රමාණය හෙවත් කාර්මික ව්‍යවහාරයේ "වීල් බේස් එක" (Wheelbase) ගණනය කෙරෙන ආකාරය. |
ශ්‍රී ලංගම බස් රථ කාණ්ඩ අනුව වෙනස් වන ආකාරය දැක්වෙන සටහන |
ඒ අනුව එක් එක් කාණ්ඩය අනුව බස් රථ වල සමස්ථ දිගෙහි සිදු වන වෙනස් වීම ඔබට අවබෝධ වනු ඇත. එක් එක් ඩිපෝවන්හි එක් එක් කාණ්ඩයන්ට අදාළ බස් රථ වල අවශ්‍යතාව පිලිබඳ සමීක්‍ෂණය කොට ඒ අනුව බස් රථ ඩිපෝවන් වෙත සපයා දීම සිදුවී ඇත. මධ්‍යම වැඩපොළ වලදී බස් රථ වෙනුවෙන් බඳ එකලස් කරීම සිදුවී ඇති යුගයේ එක් එක් සමාගමෙන් අදාළ චැසි මිලදී ගෙන ඇත්තේ මෙම කාණ්ඩයන්ට අනුකූලවය.
එක් එක කාණ්ඩය අනුව රථ වල සිදුවන වෙනස අවබෝධ කර ගැනීම සඳහා එක් එක් කාණ්ඩයට අදාළව පහත ඡායාරූප පල කරමි.
Type E
Type D
Type C
Type B
Type B +
Type A
Type A+
ඉහත ඡායාරූප නිරීක්‍ෂණයෙන් පසු E, D සහ C වැනි දිගින් අඩු බස් රථ කාණ්ඩ පටු සහ කඳුකර ග්‍රාමීය මාර්ග සඳහා යෙදවී ඇති බවත් B, B+, A සහ A+ කාණ්ඩ නාගරික සේවා සහ දුර සේවා සඳහාත් යෙදවී ඇති බව ප්‍රත්‍යක්‍ෂ වේ. කෙසේ වෙතත් මාර්ග වල තත්වයන් අනුව D, C වැනි කාණ්ඩ වල බස් රථද දුර සේවා සඳහා යෙදවුණු අවස්ථා සඳහා උදාරහරණ ඇත.
කාණ්ඩ වල වර්ථමාන භාවිතාව
මධ්‍යම වැඩපොළවල් පුද්ගලීකරණය කිරීමත් සමඟ බස් රථ සඳහා බඳ එකලස් කිරීමෙන් ලංගම ඉවත් වීමත් සමඟ චැසි ගෙන්වීම නතර වී ඇත. එතැන්සිට සම්පූර්ණ බස් රථ වශයෙන් නිෂ්පාදකයන්ගෙන් බස් රථ මිලට ගැනීමට ලංගමට සිදුවී ඇත. ඒ අනුව විවිධ මාදිලි වල බස් රථ ධාවනයට එක්වී ඇති අතර ඒවායේ වීල් බේස් අනුව කාණ්ඩය තීරණය කිරීමට වත්මන් ශ්‍රී ලංගම ක්‍රියා කර ඇත. කෙසේ නමුත් එම ක්‍රියාවලියේ දී ද කාණ්ඩ වල මූලික සංකල්ප වලට කිසිදු වෙනසක් සිදුවී නොමැත.
එක් එක් කාණ්ඩය යටතේ වර්තමානයේ ධාවනය වන රථ සඳහා උදාහරණ ඡායාරූප පහතින් දැක්වේ.
Type E
මේ වනවිට ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය යාවත්කාලීන වී ඇති බැවින් E කාණ්ඩය යටතේ අලුතින් මිලදී ගත් බස් රථ ඇත්තේ ඉතා අල්ප වශයෙනි. නුවරඑළිය ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේදී මිලදී ගත් අශෝක් ලේලන්ඩ් ස්ටැග් වර්ගයේ බස් රථ ආසන්නතම උදාහරණය වශයෙන් දැක්විය හැක. ඒ යටතේ මිලදී ගත් බස් රථ ගණන 4කි. දැනට ධාවනය වන E කාණ්ඩයේ බස් රථ බොහොමයක් ලංගම බඳ සැකසූ පැරණි බස් රථමය.
Type D
මේ වන විට ග්‍රාමීය මාර්ග සඳහා බහුලව භාවිතා වන්නේ මෙම කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද බස් රථය. මෙම කාණ්ඩය සඳහා මෑත කාලීන උදාහරණ කීපයක් පහතින් දැක්වේ.
Type C
මධ්‍යම ප්‍රමාණයට අයත් C කාණ්ඩයේ බස් රථ ග්‍රාමීය සේවා වලත් නගරබද සේවා වලත් එක සේ දැකිය හැකි බස් කාණ්ඩයකි. අල්ප වශයෙන් දුර සේවා වලද දැකිය හැක. ඇඹිලිපිටිය ඩිපෝව මගින් C කාණ්ඩයේ බස් රථයක් යොදාගෙන ධාවනය කරවන හැටන් - ඇඹිලිපිටිය සේවාව උදාහරණයකි. C කාණ්ඩය සඳහා මෑත කාලීන උදාහරණ කීපයක් පහතින් දැක්වේ
Type B
B කාණ්ඩයේ බස් රථ බොහෝ විට නගරබද සේවා වලත් දුර සේවා වලත් එක සේ දැකිය හැකිය. වර්තමාන රථ ඇණියේ වැඩිම බස් රථ ප්‍රමණයක් අයත් වන්නේ මෙම කාණ්ඩයටය. මෑත කාලීන උදාහරණ කීපයක් පහතින් දැක්වේ.
Type B+
ලංගම බස් කාණ්ඩ අතර B+ කාණ්ඩයේ බස් රථ බොහෝ විට දුර සේවා වල දැකිය හැකිය. නගරබද සේවා වලද දැකිය හැකි අවස්ථා ඇත. වර්තමාන ශ්‍රී ලංගම රථ ඇණිය තුල ප්‍රචලිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථ අයත් වන්නේ මෙම කාණ්ඩයටය. මෑත කාලීන උදාහරණ කීපයක් පහතින් දැක්වේ.
Type A
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ කාණ්ඩ වලින් දිගින් වැඩිම බස් රථ කාණ්ඩය මෙම කාණ්ඩයයි. A කාණ්ඩයේ බස් රථ, ලංගම සතුව පැවතී ඇත්තේ ඉතා අඩු වශයෙනි. 2019 වසරේ ධාවනයට එක්වූ අශෝක් ලේලන්ඩ් 12M බස් රථ පැමිණෙන තෙක් ධාවනයේ පැවතියේ A කාණ්ඩයේ බස් රථ කීපයක් පමණි. කෙසේ වෙතත් 2019 වසරේ 12M බස් රථ ධාවනයට එක්වීමත් සමඟ A කාණ්ඩය යළිත් කරළයට පැමිණ ඇත. 12M බස් රථයක වීල් බේස් අගය මිලිමීටර් 6200 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ බස් රථයක් ලියාපදිංචි කළ හැකි උපරිම වීල් බේස් අගය යැයි පැවසේ.
Type A+
A+ කාණ්ඩය යටතේ වර්ගීකරණය වන්නේ දෙමහල් බස් රථය. රථ ඇණිය සතුව පවතින සියලුම දෙමහල් බස් රථ මෙම කාණ්ඩය යටතේ වර්ගීකරණය වේ. මෑත කාලීන උදාහරණ කීපයක් පහතින් වේ.
සටහන/පරිගණක සැකසුම්: උත්පල දිල්හාන්
විශේෂ ස්තූතිය: සහකාර කළමණාකාර (ඉංජිනේරු) ශ්‍රී ලංගම ම.බ.කා. ඩිපෝව
ක්ෂේත්‍ර සහාය: ප්‍රීමාල් මධුසංක
//කෙසේ නමුදු ක්ෂේත්‍රයේ නිපුණතාව ඇත්තෙකුට බස් රථයේ කාණ්ඩය කියූ සැනින් රථයේ ස්වභාවයත් රථය ධාවනය කරවන මාර්ගයේ ස්වභාවයත් ක්‍ෂණිකව අවබෝධ කර ගත හැකිය.//
ReplyDeleteමේ කියමන, ලංගමය තම ජීවිතයේ කොටසක් උන, අපි වගේ නාකි පරම්පරාවට නම් හොඳට ගැලපෙනවා. ඉඳහිට පරණ කතාවක් කියනකොට, ''ඒ පාරේ ගියේ E ටයිප් විතරයි'' කියන කියමනෙන්, වාක්‍ය කිහිපයකින් කිවයුතු විශාල කරුණු ප්‍රමාණයක් එක අකුරකින් කියවෙනවා.
80 දශකයේ මුල හෝ මැද පමණ British Leyland සමාගමෙන් ආනයනය කල චැසි මත වේරහැර බොඩි සෑදු බස් රථ හතරක් හෝ පහක් රත්මලාන ඩිපෝවේ තිබුනා. එම බස් කිහිපය ලංගමයේ තිබුන දිගම බස් රථ මාදිලියයි. එහි දිග මීටර් වලින් කීමට නොහැකි උනත්, දිග පිලිබඳ අවබෝධයක් ලැබීමට හැකි කරුණු කිහිපයක් නම් මතකයි. ඉතා පළල පසුපස දොරටුවකින් සමන්විත වූ මේ රථයේ, එම දොරටුවට පසු කොටස E ටයිප් බසයක දොරටුවෙන් පසු කොටසට ( වීදුරු කවුළු තුනක් ) සමාන උනා. ඒ වගේම පසුපස දොරටුවෙන් ඉදිරි කොටස දොර දෙකේ C ටයිප් බසයක පසු දොරටුවෙන් ඉදිරි පසට (කවුළු 4) සමාන උනා. ගාලු පාරේ කොටුව/මොරටුව හෝ කටුබැද්ද අතර පමණක් මේවා ධාවනය වූ බව මතකයි.
ඩබල් ඩෙකර් A ටයිප් තිබුන බස් වල උඩ තට්ටුවේ බොඩි ඩැමේජ් වෙච්ච ඒවා (මට තාම මතකයි 23/2696 අපේ පාසල් බසයේ යනකොට හැව්ලොක් ටවුන් එකේදී, පොලිස් පාක් එක ඉදිරිපිටදී, රීඩ් මාවතේදී ගස් වල අතු වහලේ වදිනවා ) අලුත්වැඩියා නොකළ හැකි තත්වයට පත් උනාම උඩ තට්ටුව කප්පාදු කරලා "කප්පාදු ඩෙකර්" කියලා හැඳින්වුන (D ටයිප් විතර) බස් හදලා ම/උ සහ ම/ද ඩිපෝ වලට දීලා තිබුනා.
70 දශකයේ ඉතාම දුෂ්කර මාර්ගයක් උන A 17 මාර්ගයේ ගාල්ල සිට රත්නපුර දක්වා දිනකට එක ගමන් වාරයක් පමණක් ධාවනය වුනා. සාමාන්‍යයෙන් ඒ පාරේ ධාවනය වන (රත්නපුර/ දෙනියාය සහ ගාල්ල/දෙනියාය) සියලුම බස් රථ D හෝ E වෙද්දී මේ බසය බොහෝ විට C බසයක්. රක්වානට ඉහලින් තියන 'දහ වංගු' රිවස් කරලා ( සමහර විට දෙපාරක්) හරවපු හැටිත් මට හොඳට මතකයි.
ආදරණීය පැරණි අතීතය මතක් කර දුන් ඔබගේ බ්ලොග් සටහනට ස්තුතියි.
Sam Perera මහතා රත්නපුර ප්‍රදේශයේ ද ලංගමයේ සාමාජිකයෙක් ද
Deleteඔබේ අදහස් වලට ස්තූතියි. :) ඔබ දිග බසයක් ලෙස හඳුන්වා ඇත්තේ රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ ලේලන්ඩ් ක්ලයිස්ඩෙල් බස් රථ ගැන යයි සිතේ. එම වර්ගයේ බස් රථ පිලිබඳ මෙම අවදියේ පල වී ඇති අතර බස් වර්ග පිටුවේ අතුරු බස් වර්ග යටතේ පරීක්ෂා කරීමෙන් එම රථ පිලිබ්නද තොරතරු ලබා ගත හැකි වේ.
Deleteස්තුතියි, ඒ බස් එක ක්ලයිස්ඩේල් එක තමයි.
Deleteමගේ ගම කොට්ටාව, පන්නිපිටියයි. නමුත් 70 දශකයේදී හා අසුව දශකයේ මැද දක්වා, අඩුම තරමින් මසකට වරක් වත් බුත්කන්ද, බොරළුවගෙඅයින ප්‍රදේශයට යාම් ඊම් සිදු කළා. ඔව්, මම CGTTI 80-84, වේරහැර 84-86.
ReplyDeleteබෙහෙවින්ම ස්තුතියි ඔබගේ තොරතුරු වලට මට යම් සැකයක් මතු වුනා රක්වාන දෙනියාය පාර ගැන තොරතුරු සටහන් කර තිබුන නිසා ඔබ ඒ පලාතේද කියලා මගේ පියාගේ ගම බුත්කන්ද (1966-1990 ලංගමයේ රියදුරු 1971-1990 ඇඹිලිපිටිය ඩිපොව,රක්වාන ඇඹිලිපිටිය ඩියුටි කරලා තියෙනවා )මම NAB කහගොල්ල ,ඇඹිලිපිටිය ට්‍රේනින් 87-92 ඇඹිලිපිටිය 92 අස් වුනා දැනට රාජ්‍ය සේවයේ පදිංචිය කඩවත
Deleteඔබගේ පියා සමහර විට මගේ පියාව දන්නවා ඇති. බොරළුවගෙඅයින උප තැපැල් කන්තෝරුව(ගෙදර) පසුකර ටික දුරක් හේස් පැත්තට යනවිට දකුණු පැත්තට කන්ද උඩට තිබුන 'සිරිලෑන්ඩ් වත්ත' ඔය කියන වකවානුවේ මගේ තාත්තාට අයිති වී තිබුනා. ගමන් බිමන් දුෂ්කර කමත්, හරි හමන් ආදායමක් නොලැබීමත් නිසා 80 දශකයේ මැද පමණ දොන් වික්ටර් නම් මහතෙකුට ඒ ඉඩම විකුණා දැමුවා.
Deleteමගේ පියා දැනට ජිවතුන් අතර නැහැ බොහෝ විට දැන ගෙන ඉන්න ඇති.හමුවෙමු නැවත ඔබට ජය
ReplyDeleteමගේ පියාගේ ගමත් රක්වාන. මාර්ග අංක 62 - රත්නපුර - දෙනියාය (රක්වාන හරහා ) මාර්ගයේ ද මීට 18 වසරකට පමණ පෙර ධාවනය වූයේද C කාණ්ඩයේ බස් රථයි
ReplyDeleteඅපේ පැත්තේ අපි කුඩා කාලේ බොහෝවිට ධාවනය උනේ C , D , E කාණ්ඩයේ බස් රථ. ගැමියන් ඒ බස් හැදින්වුවේ ජනෙල් 3 , 4 , 5 වගේ සරල භාෂාවෙන්.
ReplyDeleteසුපිරිය්ක්.. නොදන්න කරුණු ගොඩාක් දැනගන්න ලැබුනා..❤
ReplyDelete