Sunday, June 28, 2020

ශ්‍රී ලංගම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය - කළුතර (SLTB Talents Amelioration center)

මධ්‍යම අභ්‍යාස විද්‍යාලය පිහිටුවා ඇති  "තිලක වලව්ව"
ශ්‍රී ලංගම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යනු මණ්ඩලයට අවශ්‍ය කාර්මික නොවන සේවක ප්‍රජාව පුහුණු කිරීම හා ඔවුන්ගේ කුසලතා වර්ධනය පිණිස මණ්ඩලය මගින් පවත්වාගෙන යන අභ්‍යාස විද්‍යාලයකි. ආයතනය 1980 වසරේ "ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය" නමින් ආරම්භ වී ඇත. ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ මණ්ඩලයට අවශ්‍ය රියදුරන් පුහුණු කිරීම, ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාල සම්බන්ධීකරණය කිරීම හා බාහිර පාර්ශව වෙනුවෙන් රියදුරු පුහුණු සේවා ක්‍රියාත්මක කිරීමය. ආයතනය පිහිටා ඇත්තේ කළුතර පළාතොට වන අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ රජයට පරිත්‍යාග ලෙස ලැබී ඇති "තිලක වලව්ව" නම් පැරණි වලව්ව හා ඒ ආශ්‍රිත භූමියයි. පසුකාලීනව මෙම මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධව නුගේගොඩ, මොරටුව හා පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාල ආරම්භ කර ඇති අතර පොතුහැර රියදුරු අභ්‍යාස විද්‍යාලය මේ වන විට මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය හරහා පාලනය නොවේ. 2015 වසරේ මධ්‍යම අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ලංගම බුලත්සිංහල රියදුරු අභ්‍යාස විද්‍යාලයද අරඹා ඇත.

2015 න් පසු..
2015 වසරෙන් පසු එවකට ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංගම මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය, "ශ්‍රී ලංගම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය (SLTB talents Amelioration center)" ලෙස වැඩි දියුණු කර ඇත. ඒ අනුව ආයතනය සතු ගොඩනැගිලි ඒවායේ මූලික ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් නොවන පරිදි අලුත්වැඩියා කර ඇති අතර භූමියද ඵලදායි අයුරින් සංවර්ධනය කර තිබේ.
මධ්‍යම අභ්‍යාස විද්‍යාල පරිශ්‍රය
පුහුණුකරුවන්ගේ විවේක ස්ථානය 
ඇතුලත පිවිසුම් මාර්ගය
එලෙස සංවර්ධනය කර, ආයතනයේ පුහුණු වපසරියද වැඩි දියුණු කර ඇත. ඒ අනුව මේ වන විට ආයතනය තුල පහත පාඨමාලාවන් ක්‍රියාත්මක වේ.
  • රියදුරු පහුණුව (ශ්‍රී ලංගම හා ශ්‍රී ලංගම නොවන)
  • කොන්දොස්තර පුහුණුව (ශ්‍රී ලංගම)
  • නායකත්ව/කළමනාකරණ පුහුණුව (ශ්‍රී ලංගම)
  • මගී ප්‍රවාහන බලපත්‍ර සඳහා පුහුණුව (ශ්‍රී ලංගම හා ශ්‍රී ලංගම නොවන)
දේශණ ශාලාවක්
දේශනයකට සහභාගී වූ ආධුනික කොන්දොස්තර වරු

රියදුරු පහුණුව
රියදුරු අභ්‍යාස විද්‍යාලයේ මූලික පුහුණුවීම් පරිශ්‍රය
මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ රියදුරු පුහුණු පාඨමාලාවට ප්‍රධාන තැනක් හිමිවේ. 1980 වසරේ මධ්‍යම රියදුරු අභ්‍යාස විද්‍යාලය ලෙස ආයතනය ආරම්භ කල දින සිට අද දක්වා අති විශාල රියදුරන් සංඛ්‍යාවක් ලංගමටත් පොදුවේ රටටත් දායාද කර ඇත. ශ්‍රී ලංගම රියදුරු පුහුණු පාසල් අතරින් වැඩිම රියදුරන් පිරිසක් පුහුණු කර ඇත්තේ ද මධ්‍යම අභ්‍යාස විද්‍යාලය අනුබද්ධ රියදුරු අභ්‍යාස විද්‍යාලය මගිනි. ලංගම යටතේ පුහුණුව ලබන ආධුනික රියදුරන්ට රථ ධාවනය පිළිබඳ ලබාදෙන පුහුණුවට අමතරව මූලික කාර්මික දැනුමක් ද ලබා දෙන අතර ඒ සඳහා අවශ්‍යවන පහසුකම් මධ්‍යම අභ්‍යාස විද්‍යාලය සතුය.
ආධුනික රියදුරන්ට කාර්මික දැනුම ලබා දීම සඳහා වන උපකරණ වලින් කොටසක් 

රියදුරු පුහුණු පාසල මගින් සියළුම වාහන පන්තීන් යටතේ රියදුරු පුහුණුව ලබා දෙන අතර ඒ සඳහා මෝටර් සයිකල්, ත්‍රීරෝද රථ, වෑන් රථ හා බස් රථ යොදා ගැනේ. රියදුරු පුහුණුව වෙනුවෙන් යොදා ගන්නා රථ වලින් කොටසක් පහත ඡයාරූප වල දැක්වේ.
රියදුරු පුහුණුව වෙනුවෙන් යොදා ගන්නා Mitsubishi L300 වර්ගයේ වෑන් රථ
රියදුරු පුහුණුව වෙනුවෙන් යොදා ගන්නා Mitsubishi L300 වර්ගයේ වෑන් රථයක් 
රියදුරු පුහුණුව වෙනුවෙන් යොදා ගන්නා අශෝක් ලේලන්ඩ් 193 වර්ගයේ අසාඩ් බඳ සහිත බස් රථයක්. රථය 1999 වසරේ මීතොටමුල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඉතා කෙටි කලකින් රියදුරු අභ්‍යාස විද්‍යාලයට ලැබී ඇත 
රියදුරු පුහුණුව වෙනුවෙන් යොදා ගන්නා ටාටා LP 1510/36 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක්. රථය 2000 වසරේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට ලැබී ඇත 
2019 වසරේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට ලැබුණු අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථය. 
රියදුරු අභ්‍යාස විද්‍යාල ගොඩනැගිල්ලේ චිත්‍රණය කර ඇති පැරණි උපදේශාත්මක චිත්‍ර

මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යටතේ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව අවසන් කරන රියදුරන්ට පිළිගත් සහතිකයක් අභ්‍යාස විද්‍යාලය මගින්ද පිරිනැමේ.

මධ්‍යම අභ්‍යාස විද්‍යාලය හා සම්බන්ධ වීමට
මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම
ලංගම මධ්‍යම අභ්‍යාස විද්‍යාලය යටතේ පුහුණුව ලැබීමට ඕනෑම අයෙකුට අයදුම් කල හැක. ඒ සඳහා පහත තොරතුරු භාවිත කර සම්බන්ධ විය හැක.

ලිපිනය:  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මධ්‍යම   අභ්‍යාස විද්‍යාලය, පළාතොට පාර, කළුතර
දුරකථන:  034 2 222 409
 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වඩාත් හොඳ සේවක පිරිසකුත්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට වඩාත් හොඳ රියදුරු පිරිසකුත් දායක කරවීම වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කල, දැනමත් ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මධ්‍යම අභ්‍යාස විද්‍යාලය පිලිබඳ සටහන මෙසේ නිම කරමි. තව බොහෝ කාලයක් තම මෙහෙවර ඉදිරියටත් පවත්වාගෙන යාමට ආයතනයට ශක්තිය ලැබේවායි පතමි.

සටහන                : උත්පල දිල්හාන් 
විශේෂ ස්තූතිය   :
මධ්‍යම අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති සනත් නලින් ද ආබෘ මහතා

ක්ෂේත්‍ර සහාය    : ඒ. ආර්. එම්. රිස්වාන් මහතා

No comments:

Post a Comment